Monday, May 9, 2011

මංජු වන්නිආරච්චි ගේ රන් පදක්කම ලංකාවට අහිමි වෙයි


2010 පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනාගත් ශ්‍රී ලාංකික බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චි මහතාට එරෙහිව එල්ල වී ඇති තහනම් උත්තේජක චෝදනා සම්බන්ධයෙන් ඔහු වැරදිකරු බවට අද (08 ඉරිදා) ක්වාලාලම්පූර් නගරයේදී තීරණය වී තිබේ.

 මෙයට පෙර මංජු වන්නිආරච්චි මහතා තහනම් උත්තේජක භාවිතා කර ඇති බවට ඔහුගේ A සහ B මුත්‍ර සාම්පල් දෙක සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණ මඟින් සනාථ වූ බවද
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ෆෙඩරේෂණය පවසයි. අද පැවති නඩු විභාගයෙන් අනතුරුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ෆෙඩරේෂණය මඟින් මංජු වන්නිආරච්චිට එරෙහි චෝදනාවලට වැරදි කරු බවට නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව 2010 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මංජු වන්නි ආරච්චි විසින් හිමිකරගත් රන් පදක්කමේ සැබෑ හිමිකරු ලෙස වේල්සයේ ශේන් මැක් ගෝල්ඩ්රික් නම්කරන බවද පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ෆෙඩරේෂණ අධිකරණය විසින් පවසා තිබේ.
මෙහිදී මංජු වන්නිආරච්චි මහතා වෙනුවෙන් නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඇතුළු නීතීඥ පිරිසක් සහභාගී වී තිබේ.
තමන් මෙම තීරණයෙන් සෑහීමකට පත් නොවන බවත් මේ සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්තයේ ලෝසැන්නෙ (Lausanne)හි පිහිටි ක්‍රීඩා පිළිබඳ විනිෂ්චයාධිකරණයට ඉදිරිපත් කරන බවද මංජු වන්නිආරච්චි වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු පවසති.
2010 ඉන්දියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියෙන් බොක්සිං ක්‍රීඩාව සඳහා කි.ග්‍රෑ 56 බර පංතිය සඳහා මෙම රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනාදීමට මංජු වන්නිආරච්චි සමත්විය.

No comments:

Post a Comment